Saturday 28 October 2017

හැලොවින් Halloween ...ඒ මොකද්ද?


ඇමරිකානු රටවල මේ දවස්වල ලොකු පොඩි බොහෝ දෙනාගේ  කතාව හැලොවින් ගැනයි. එදාට මොනවද අඳින්නේ? ගෙවල් සරසන්නේ කොහොමද? පාසල්වල මොනවද ඒ වෙනුවෙන් කරන්නේ? රාත්‍රියට රසකැවිලි ගන්න යනවද? බෙදනවද? තරුණ ළමයි සාද පවත්වන්නේ කොහෙද? 
ලංකාවට නම් මේවා තරමක් ආගන්තුක වුනත් බටහිර රටවල ඔක්තෝබර් 31 වෙනිදා සමරන විනෝදාත්මක බවක් දක්වන හැලොවින් උත්සවය ගැන දැන් දැන් පෙරදිග රටවලත් අවධානය යොමුවෙමින් පවතිනවා. අවතාර, පැණිරස, වට්ටක්කා ඔක්කොම මුසුවූ මේ දිනයේ ආරම්භය හා විකාශය ගැන  ලියන්න හිතුවා. 

වසර 2000කට පමණ පෙර දැන් බ්‍රිතාන්‍යය, අයර්ලන්තය හා ප්‍රංශයේ උතුරු කොටස්වල ජිවත් වූ සෙල්ටික් Celtic ජාතිකයන් අස්වනු නෙලන සමයේ අවසානය සටහන් කරන දිනය ලෙසයි හැලොවින් මුලින්ම ආරම්භ කර ඇත්තේ.මෙදිනෙන්  පසු සිතල වැඩිවීමත් සමග භෝග මියයාමත්, පස් තදවෙන නිසාත් මේ රටවල වගා කළ නොහැකියි. මේ දිනයේදී මළවුන්ගේ ආත්මයන් මිනිස් ලෝකයට පැමිණෙන බව ඔවුන් විශ්වාස කළා.  ගිනිමැල දල්වා ඒ වටා හිඳ මියගිය අය සිහිපත් කරමින් යාච්ඥා කර තිබෙනවා. ඒ සමග පැමිණෙන නරක ආත්ම රවටන්නට සුදු හැඳ, කළු පාටින් මුහුණු පාට කරගෙනයි සෙල්ටික් ජාතිකයන් යාච්ඥා මෙහෙයන්ට සහභාගී වී තිබෙන්නේ.
අයර්ලන්තයේ ගේල් Gael ජාතිකයන් විශ්වාස කළේ මේ දිනයට අපේ ලෝකයත්, මළවුන්ගේ ලෝකයත් අතර බිත්තිය තුනී වන නිසා මළවුන්ගේ ආත්මයන් (spirits ) ඒ තුලින් මෙලොවට පැමිණ භෝගවලට හානි පමුණුවන බවයි. ඒ නිසා ඔවුන් 31 වෙනිදට මළවුන්ට ආරාධනා කිරීම සඳහා රාත්‍රී කෑම මේසයක් සුදානම් කළා. නරක, නපුරු ආත්ම පලවා හැරීමට ගිනිමැල දැල්වූවා. 
නමවන සියවස වෙද්දී සෙල්ටික් ප්‍රදේශවල ක්‍රිස්තියානි ආගම පැතිරීමත් සමග ක්‍රමයෙන් පැරණි චාරිත්‍ර හා මුසුවෙමින් වෙනස්කම් සිදුවුණා. ක්‍රි.ව. 1000දී ක්‍රිස්තියානි පල්ලිය නොවැම්බර් දෙවෙනි දින සියලු අත්මයන්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. එය All Hallows day ලෙසත් හැඳින්වෙනවා. දුප්පත් සෙල්ටික් මිනිසුන් පොහොසත් ක්‍රිස්තියානි මිනිසුන්ගේ නිවෙස්වලට ගොස් ඔවුන්ගේ මියගිය ඥාතීන් වෙනුවෙන් යාච්ඥා කර ඒ සඳහා ආහාර ලබාගෙන තිබෙනවා.  
11වන සියවස වෙද්දී පොඩි ළමයි සුරංගනාවෝ, යක්කු, ශාස්තෘවරු වගේ ඇඳගෙන ගෙයින් ගෙට ගොස් මියගිය අය වෙනුවෙන් යාච්ඥා කළාම ඔවුනට කුරුස ඇඳපු කේක් දී තිබෙනවා. ඒවා කෑ විට එම ආත්මයන් දුකින් මිදී ස්වර්ගයට යන බව විශ්වාස කළා. 
19වන සියවස වනවිට මෙසේ යාච්ඥා කරන එක ආගමික ගීතිකා ගයන එක බවටත්, කේක් දෙන එක පලතුරු, පැණිරස, මුදල් දීම බවටත් වෙනස් වෙලා තියනව. ක්‍රමයෙන් තරුණ පිරිස් මේ දිනයට විවිධ අමුතු ඇඳුම් ඇඳගෙන නිවෙස්වලට ගොස් ගීයක් ගයා, කවියක් කියා හෝ විහිළු කතාවක් , ජවනිකාවක් රංග දක්වා පලතුරු හා මුදල් ලබාගැනීම දක්වා චාරිත්‍ර වෙනස් වී තියෙන්නේ. Trick කියන වචනය හැලොවින් වලට සම්බන්ධ වුනේ එහෙමයි. Trick එකක් කලවිට treat එකක් ලැබීම මෙහිදී සිදුවෙන්නේ. 

All Hallows Day ට පෙරදින  hallow eve නිසා පසුකාලීනව එය Halloween ලෙස විකාශය වූ බව සිතිය හැකියි. යුරෝපින් ඇමරිකාවට ආගමනයත් සමග මේ සිරිත් විරිත් සියල්ලම ඔවුන් සමග එහි ගෙනගොස් තිබෙනවා. මිට සමාන සිරිත් ඇමරිකාවේ ආදී වාසීන් අතරත්, වෙනත් යුරෝපා ජාතින් අතරත් තිබුණු බව කියවෙනවා.
ඇමරිකාවේදී මෙම යුරෝපා සිරිත්, ගෙයින් ගෙට ගොස් බියවැද්දීම් හා විහිළු කර පැණිරස කෑම ලබාගැනීම පමණකට සීමා වෙලා.  එයට trick -or treat කියන්න පටන් අරගෙන තියෙන්නේ 1927දී.  
දෙවන ලෝක යුද්ධ සමයේ තරමක පසුබෑමකට ලක්වූ හැලොවින්,  ඉන්පසු ළමුන් වෙනුවෙන් වූ විනෝද උත්සවයක් බවට පත්වෙලා. ඇඳුම් ක්‍රමයෙන් වවුලෝ, අවතාර, මන්තරකාරයෝ, ඊජිප්තු මමී විදියට විකාශය වෙලා.
අයර්ලන්ත ජාතිකයන් මුලදී ටර්නිප් වලින් භයානක මුහුණු හැදු නමුත් ඇමරිකාවේ ටර්නිප් නැති නිසා ඒ වෙනුවට ඒ කාලයට බහුලව තියන වට්ටක්කා යොදාගන්න පටන්ගෙන. වට්ටක්කා මදය අයින් කරලා මුහුණු කැටයම් කරල මැදින් ඉටිපන්දම් ගහන Jack o lantern බිහිවෙලා තියෙන්නේ ඇමරිකානු ජන කතාවක් ඇසුරෙන්. 


වට්ටක්කා ගෙඩිය ඉහලින් කපා මදය ඉවත්කර තියුණු පිහියකින් හැඩතල කැපීම පවුලේ අය සතුටින් කරන දෙයක්.
දැන් ඉතින් සියල්ල වාණිජකරණය වෙලා. 
හැලොවින් සඳහාම පොත්ත තද, විශාල වට්ටක්කා වගා කරනවා. දැන් දැන් විවිධ ප්‍රමාණයෙන් යුතු ප්ලාස්ටික් වට්ටක්කාත් වෙළඳ පොලට ඇවිත්.
හොලොවින් සඳහා නිවෙස් සැකසීමේ සිට ආහාර බෙදීම, විනෝද උත්සව පැවැත්වීම, ඇඳුම් සැකසීම, සංගීතය පවා විශේෂයෙන් නිර්මාණය වෙලා.
ඇඳුම් සකස් කරන එක ව්‍යාපාරයක් ලෙස මේ සමයේ ඉහලින්ම කෙරෙනවා. සුපර් මෑන්ලා, වෙස්මුණු, කඩු, තුවාල, ලේ පෙරාගත් අය, ඇටසැකිලි, නපුරු මන්තරකාරියෝ නැති කෙනෙක් නෑ.
මේවා ඇඳගෙන පැණිරස දෙන අයයි , ගන්න එන අයයි එකිනෙකාව බය කරගන්නවා.  

ටොෆි චොකලට් ආදී පැණිරස හැලොවින් සඳහාම විශේෂයෙන් නිපදවෙනවා. පැණිරස වර්ග මෙන්ම ඒවා එකතු කරන්න ගෙනියන විවිධ හැඩ  බඳුන් වෙළඳ පොලේ පිරිලා. 

නිවෙස් ඉදිරිපස  හැලොවින් සඳහා සැරසිලි කිරීම ඔක්තෝබර් මස මැද සිටම සිදු කෙරෙනවා. මකුළු දැල්, සොහොන්කොත්, මිනි ඔළු, අවතාර වගේ සැරසිලි නිවෙස් ඉදිරියේ දැකීම මුලින්නම් පෙරදිග අපේ සිත බියපත් කරවන සුළු වුණා.  විවිධ විදියේ වට්ටක්කත්, පාළු බවක් උසුලන හා භීතිය දනවන  දර්ශනත් නිවෙස් ඉදිරියේ දැකීම බහුලයි. හවසට පැණිරස ඉල්ලන්න එන ළමයි බයකරන්න සංගීත ඛණ්ඩ පවා අමුතුවෙන් නිපදවෙනවා. 

ඔක්තෝබර් 31 වෙනිදා බිම් කළුවර වැටෙනකොටම විවිධ ඇඳුම් ඇඳගත් ළමුන් ගෙන්ගෙට යාම පටන්ගන්නවා. සරසන ලද ගෙවල්වල වැසියන් ඔවුන්ට පැණිරස බෙදනවා.
නිවෙස්වලට ගොස් පැණිරස එකතු කිරීමේ වයස ඉක්මවූ තරුණ හා මහලු පිරිස් විවිධ ඇදුම් ඇඳගෙන සාද පවත්වනවා. 

එදා දවස පුරා මෙවැනි ඇඳුම් ඇඳගත් අය, සැරසිලි කරගත් අය මගතොටේ දැකීම අරුමයක් නොවේ. හැලොවින් දිනය දැන් පාසල්වල, ආයතනවල  විවිධ ඇඳුම් ඇඳගෙන විනෝද උත්සව තියන විනෝදකාමී දිනයක් ..

හැලොවින් දිනය සඳහා ඇමෙරිකානුවන් වසරකට ඩොලර් බිලියන හයක් පමණ වැය කරන බවයි කියවෙන්නේ.

උදව්:
The Daily Telegraph
www.history.com/topics/halloween
www.albany.edu/~dp1252/isp523/halloween.html

Saturday 7 October 2017

බලාපොරොත්තුවේ මැරතන් ධාවකයා Terry Fox

අවුරුදු 22ක තරුණයෙක්ගේ කැපවීම, අප්‍රතිහත ධෛර්යය, නොසැලෙන අධිෂ්ඨානය ඔහුව රටක ජාතික වීරයෙක් බවට පත්කළා. වසරක් පාසා ඔහුගේ ධෛර්යය සිහිපත් කරමින්, ගුණාංග අගයමින් එම තරුණයාගේ අරමුණ කරා දරුවන් මෙහෙයවන අපුර්වතම කාලයක් මේ දිනවල කැනඩාවේ පාසල්වල ගතවෙන්නේ. මේ ඒ තරුණයාගේ කතාවයි.
1958 කැනඩාවේ  සාමාන්‍ය පවුලක උපත ලද
නිල් ඇඳුමින් ටෙරී සොයුරු සොයුරියන්
සමග 
ටෙරන්ස් ෆොක්ස් ඉතාම ක්‍රියාශීලී, ක්‍රීඩාශීලි තරුණයෙක්. පාපන්දු, රගර්, බේස්බෝල්, බාස්කට්බෝල්, දිගුදුර ධාවනය ආදී සියලුම ක්‍රීඩාවන්ට ඇලුම් කල එම ක්‍රීඩාවන්හි නිරතුරු යෙදුනු ටෙරී උසස් අධ්‍යාපනය පිණිස Simon Fraser විශ්ව විද්‍යාලයට ඇතුලත් වුනේ ක්‍රීඩා අංශයෙන්ම ඉදිරි අධ්‍යාපනය ලබන්නයි.
ඔහුගේ ජිවිතයේ වැදගත්ම අංශය වුයේ අරමුණක් කරා යාමේදී ඒ සඳහා වන කැපවීමයි. කුඩාකල සිටම බේස්බෝල් ක්‍රීඩාවේ නිරත වුනත් අටවන ශ්‍රේණියේ දී ටෙරිට උවමනා වූයේ බාස්කට්බෝල් ක්‍රීඩා කරන්නයි. ඒ වනවිට උස අඩි පහක් පමණක් වූ නිසා පුහුනුකරුගෙන් උපදෙස් ලැබුනේ දිගුදුර ධාවනයේ යෙදෙන ලෙස හෝ රෙස්ලින් ක්‍රීඩාව කරන ලෙසයි. දුර දුවන අතරතුරත් ඔහු පාසල් බාස්කට් බෝල් කණ්ඩායමට එකතුවීමේ සිහිනය අත හැරියේ නැහැ. දිනපතා හිමිදිරියේ පාසලට පැමිණ නොකඩවා සිදුකල පුහුණුවත්, කැපවීමත්, අධිෂ්ඨානයත් නිසා 10 ශ්‍රේණියේදී බාස්කට්බෝල් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් වීමටත්, තම මිතුරා සමග පාසලේ හොඳම ක්‍රීඩකයා වීමටත් අවස්ථාව උදා කර ගත්තා. .
නිසග ධෛර්යයෙන්, කැපවීමෙන් හා අධිෂ්ඨානශිලිව  ක්‍රියාකළ මේ තරුණයාගේ දිවිය හදිසියේ වෙනස්වන්නේ අවුරුදු 18 දීයි. යන්තම් ඇරඹි දකුණු දණහිසේ වේදනාවක් ක්‍රමයෙන් පය බිම තැබිය නොහැකි මට්ටමට වර්ධනය වුණා. මේ අධික වේදනාවට හේතුව අස්ථි පිළිකාවක් බව හඳුනාගැනීම ටෙරී හා ඔහුගේ පවුලේ සියල්ලන්ම කම්පනය කළ සිදුවීමක් වුණා. මෙය පැතිරීම වැලැක්වීමට දණහිසෙන් අඟල් හයක් ඉහලින් පාදය කපා හැරිම හැර පිලියමක් තිබුනේ නැහැ. ක්‍රීඩාවම ජීවිතය කරගත් ටෙරීට මේ අදහසට එකඟ වීම පහසුවක් නොවුනත් කළ හැක්කක් තිබුනෙත් නැහැ.
පාදය ඉවත්කර තුන්වන සතියේම පිළිකා සඳහා ලබාදෙන ප්‍රතිකාරයක් වන කිමොතෙරපි ලබාගන්නා අතරම ඉතා උනන්දුවෙන් පුහුණු වී, කෘත්‍රිම පාදයක් උදව්වෙන් ඇවිදීම ආරම්භ කිරීම ඔහුගේ දිරිමත්බවේ සැබෑම පියවරක්. පියා සමග ගොල්ෆ් ක්‍රීඩාවේ යෙදීම මගින් පලකල ධනාත්මක හැකියාත් වෛද්‍යවරුන්ගේ දැඩි අවධානයක් ඔහු වෙත යොමු කරවන්න සමත් වුණා.
පිළිකාව සිරුරේ පැතිරීම වැලැක්වීමට මාස 16ක් පුරා සති තුනකට වරක් රෝහලට යමින් කීමෝ ප්‍රතිකාර ලබාගන්නා අතරතුර රෝහලේ අනෙක් රෝගීන් පිළිකා හේතුවෙන් දුක් විඳින අයුරුත්, මියයන අයුරුත් ටෙරී අවධානයෙන් බලා සිටියා. තමන්ගේ ආබාධිත තත්වයට මුහුණදෙන ගමන් රෝගීව සිටින හා අනාගතයේ පිළිකාවට ගොදුරුවන අයටත් පලක් ඇති දෙයක් සිදු කරන්න ඔහුට උවමනාවක් ඇතිවුණා.
තමන්ගේ රෝගය තව මාස හයකට කලින් හඳුනා ගත්තානම් සුව කිරීමේ හැකියාව 50%කටත්  වැඩිවන බව දැනගත් විට ඔහුට වුවමනා වුනේ පිළිකා කලින් හඳුනාගැනීම සඳහා පර්යේෂණ වැඩියෙන් සිදු කරවීමටයි.  ඒ සඳහා අවශ්‍ය මුදල් සපයාදීම ඔහුගේ අරමුණ වුණා.
ප්‍රතිකාර ලබන අතරතුරදීම රෝදපුටු පැසිපන්දු (wheelchair basketball ) නම්වූ ඔහුට සුපුරුදු බාස්කට්බෝල් ක්‍රීඩාව වෙනස් ආකාරයකට ක්‍රීඩා කිරීමේ අභියෝගයත් භාරගත්තා. ඉතා අසීරුවෙන් එයත් පුහුණු වී තම කණ්ඩායමට ශුරතා දිනා දෙන්නටත් සමත් වුණා.
නිරෝගී කාලයේ දිගුදුර ධාවකයෙක්ව  සිටි ටෙරී, නිව්යෝක් මැරතන් තරගවලට සහභාගී වූ තනි පාදයක් ඇති ඩික් ට්‍රෝම් පිලිබඳ ලිපියක් දැක මැරතන් පිලිබඳ අවධානය යොමු කරන්නට පටන් ගත්තා. පිළිකා රෝගීන් වෙනුවෙන් නව අරමුණක් තිබු ටෙරී කෘත්‍රිම පාදය සහිතව ධාවන පුහුණුව ආරම්භ කළා. 1979 පෙබරවාරි මස දිනකට සැතපුම් භාගයක් දිවීමෙන් අරඹා ක්‍රමයෙන් දුර වැඩි කර ගැනීමේදී කෘත්‍රිම පාදයට කැපීමෙන් පාදයේ ඉතිරි කොටස තුවාල වුණා. ඇටකටු සීරී ගියා. අනෙක් පාදයේ දියපට්ට ආවා. නියපොතු කැඩීගියා. කෘත්‍රිම පාදයේ යම් නවීකරණ කිරීමට සිදුවුණා. සියලු අභියෝග ජයගනිමින් ඔහු අගෝස්තු මස බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ පැවති සැතපුම් 17 ධාවන තරගයට සහභාගී වුණා. ඔහු ලැබුවේ අවසන් ස්ථානය වුවත් ඔහුට දැඩි පිළිගැනීමක් ලැබුණා.
මෙය ටෙරී ෆොක්ස්ගේ නව සැලැස්මට දිරියක් සැපයුවා. මිතුරන් දෙදෙනෙක්ට පමණක් දන්වා ආරම්භ කළ සැලැස්මට කැනඩා පිළිකා සංගමය, යුද්ධයෙන් පා අහිමිවූවන්ගේ සංගමය, ෆෝඩ් මෝටර් සමගම මෙන්ම අඩිඩාස් සමාගමේද සහය ගන්නට ඔහු සමත් වුණා.  වෙළඳනාම රහිතව සහය දීමට සමහර සමාගම් අකමැති වුණා. එහෙත් ටෙරිට වෙන කිසිවෙක් ප්‍රචාරය කිරීමේ හෝ තමන් ජනප්‍රිය වීමේ අරමුණක් තිබුනේ නැහැ.  ඒ අතරතුරත් ඔහු නොකඩවා පුහුණුවීම්වල යෙදුණා. වෛද්‍ය වාර්තා ගෙන ධාවනයට අවසර ලබාගත්තා.

"පිළිකා රෝහලේ දිනපතා දකින ධෛර්යමත් මුහුණු, බලාපොරොත්තු අත්හැරී මුහුණු, වේදනාව පිරි මුහුණු, නිර්භීත මුහුණු මට සිහි ගැන්වුයේ මේ වේදනා අවසන් කලයුතු බවයි. මම හීන දකින්නෙක් නෙමෙයි. එහෙත් කවදාහරි පිළිකාවෙන් මේ ලෝකය මිදෙන්න ඕනේ. මම හාස්කම් විශ්වාස කරනවා. ඒ හාස්කම වෙන්න උදව් කරනවා." ටෙරී තම අරමුණ පහදා දුන්නේ එහෙමයි.

බලාපොරොත්තුවේ මැරතන් ධාවනය : Marathon of  Hope
රට හරහා මැරතන් ධාවනය කරමින් පිළිකා පර්යේෂණ සඳහා මුදල් එකතු කිරීමේ අරමුනෙහිදී ටෙරී බලාපොරොත්තු වුනේ දිනකට සැතපුම් 26ක් හෙවත් මැරතන් දුරක් ධාවනය කර ඩොලර් මිලියනයක් එකතු කිරීමයි. 1980 අප්‍රේල් 12 කැනඩාවේ නැගෙනහිර වෙරළේ අත්ලාන්තික් සාගරයෙන් තම පාදය පොඟවා බෝතලයකට ජලය ලබාගත්තේ ධාවනය අවසානයේ රටේ බටහිර කෙලවරේ පැසිෆික් සාගරයට එම ජලය ඉවත් කිරීමටයි.
සැලැස්ම වුයේ උදය වරුවේ සැතපුම් 12කුත් හවස සැතපුම් 14කුත් ධාවනයයි. මිතුරන් දෙදෙනෙකුත් සොයුරාත් වාහනයකින් ඔහු සමග ආධාර එකතු කරමින් පැමිණියා. මුලදී මේ ධාවනයට එතරම් අවධානයක් නොතිබූ නිසා එතරම් මුදලක් එකතු වුනේ නැහැ. යම් අධෛර්යමත්වීම් සිදුවුනත් ටෙරීත් මිතුරනුත් බලාපොරොත්තු අත් හරියේ නැහැ. දැඩි අව්ව, හිම, වැස්ස කිසිවකින් ටෙරී නතර වුනේ නැහැ. දින, සති, මාස වලට හැරෙද්දී අධිෂ්ඨානශිලිව, ශක්තිමත්ව, මුරණ්ඩු ලෙසින් බලාපොරොත්තුවේ ධාවනයේ යෙදුණා.
"මම ලයිට් කණුවක සිට ඊළඟ ලයිට් කනුව ඉලක්ක කළා. මේ වංගුවේ සිට ඊළඟ වංගුව ඉලක්ක කළා. වරකට එක සතැප්මක් ඉලක්ක කරමින් දවසේ ඉලක්කය සපුරා ගැනීමට දිව්වා. "
කියුබෙක් ප්‍රාන්තයට එද්දී මේ රෝගයෙන් තම දරුවා අහිමි වූ හෝටල් හිමියෙක් දිගටම උපකාර කරන්නටත්, ව්‍යාපාරිකයන්ගේ උදව් ලබා දෙන්නටත් ඉදිරිපත් වුණා. කිලෝමීටර් දෙදහස් ගණනක් ගෙවා ඔන්ටාරියෝ ප්‍රාන්තයට පැමිණෙන විට පුවත්පත් වාර්තා, පිළිකා සංගමයේ දැනුවත් කිරීම් ආදිය නිසා මිනිසුන්ගේ අවධානය වැඩිවෙමින් පැවතුණා. අතරමගදී රැස්වීම්වලට සහභාගී වෙන්නත්, කතා පවත්වන්නත්, සම්මුඛ සාකච්ඡා ලබා දෙන්නත් සිදුවුණා. අගනුවර වන ඔටාවා පැවති කැනඩා දින උත්සවයේදී අගමැති පියරේ ට්රුඩෝ ටෙරීට සුබ පැතුම් එක්කළා. එදින එහි පැවති රගර් තරගයක බෝලයට පළමු පා පහර දී තරගය ඇරඹුවේ ඔහු විසින්.
මග දෙපස නරඹන්නන් ඔහුව දිරිමත් කළා. සමහරු ඔහු සමග කෙටි දුරක් දිව්වා. ඔන්ටරියෝ ප්‍රාන්තය ඔහුගේ ධාවනයට පොලිස් ආරක්ෂාවද සැපයුවා.
ටොරොන්ටෝ නගරයේදී ලද පිළිගැනීම අති මහත්. ඔහු වඩාත් සතුටට පත්වුණේ එදින ඩොලර් 100 000ක් එකතු කිරීමට හැකිවූ නිසයි.
අගෝස්තු 27 වෙනිදා ටෙරිට තරමක නිදහස් වෙලාවක් ලැබුණා. පාදයක් ඉවත්කළ අවුරුදු 10ක කුඩා දරුවෙක් සමග විලක පිහිනමින් විනෝද වෙන්න ඒ අවස්ථාව යොදා ගත්තා.
බලාපොරොත්තුවේ ධාවනය අවසන් වූ ස්ථානයේ පුවරුව 
එදින ඔහුට හුස්ම ගැනීමේ අපහසුතා මතුවුණා. එහෙත් ඔහු තව දුරටත් ධාවනයේ යෙදුණා. සැප්තැම්බර් පළමුවෙනිදා නොනවතින කැස්සක් සමග රුධිරය පිටවීමක් සිදුවූ නිසා මේ ඓතිහාසික ධාවනය නැවැත්වීමට සිදුවන විට ඔහු දින 143ක් තුල සැතපුම් 3339ක් (5373km) ධාවනය කර තිබුණා.
වෛද්‍ය ප්‍රතිකාර පිණිස කුඩා ජෙට් යානයකින් රෝහලකට ගෙන ගියවිට  දැනගත්තේ පිළිකාව පෙනහළු ආක්‍රමණය කර ඇති බවයි. රෝගය මෙතරම් පැතිරෙනතෙක් ඔහු රෝගය සමගම සති ගණනක් ධාවනය කර ඇති බව දුටු වෛද්‍යවරු පුදුමවුණා.
ජාතියම මොහොතකට නැවතුනක් වැනි වුණා. එතැන් සිට ඔහු අපේක්ෂා කළ ස්ථානය දක්වා ධාවනය සම්පුර්ණ කිරීම පිණිස විවිධ සංවිධාන, ක්‍රීඩා සංගම්, කණ්ඩායම් ඉදිරිපත් වුනත් ටෙරී එක් කණ්ඩායමකට මෙය භාර දීමට කැමති වුනේ නැහැ. " මට මෙය සම්පුර්ණ කල නොහැකි වුවොත් අනිත් සියල්ලෝ මෙය දිගටම සිදුකළ යුතුයි. මා නැතිව වුවද එය දිගටම යා යුතුයි"
කැනඩාව පුරාම ඔහු වෙනුවෙන් ධාවන මැරතන්, ඇවිදින මැරතන්, නර්තන, නාට්‍ය ආදිය සංවිධානය කර මුදල් උපයා ඔහුගේ පිළිකා පර්යේෂණ අරමුදලට පරිත්‍යාග කිරීම ඇරඹුණේ ඉන් පසුවයි.
ඔහුට විශේෂ උපහාර පදක්කම්, කුසලාන මෙන්ම ප්‍රාන්තයේ පුරවැසියෙක්ට හිමිවන ඉහලම සම්මානයත් හිමිවුණා. ඉන් මාස කිහිපයකට පසු ඔහුගේ 23වන උපන්දිනයට මාසයක් තිබියදී ටෙරී අවසන් ගමන් ගියා.  ඒ වන විටත් ඔහුගේ පසුකාලින අරමුණ වූ ඩොලර් මිලියන 24 ඉක්මවා මුදල් එකතු වී තිබුණා.
ඔහුගේ මරණයෙන් පසු කැනඩාව පුරා පාසල්, මහාමාර්ග, ප්‍රජා මධ්‍යස්ථාන මෙන්ම කන්දක්ද ඔහු වෙනුවෙන් නම් කෙරුණා. ඔහු ධාවනය නිමා කළ තන්ඩර් බේ නගරයෙහි මෙන්ම වෙනත් නගරවලත් සිහිවටන පිළිම නිමවුනා. පාසල් පොත්වලට ඔහුගේ කතාව ඇතුලත් වුණා. ඔහු නමින් වාර්ෂික පදක්කම්, ශිෂ්‍යත්ව පිරිනැමීම ඇරඹුනා.
2005දී ඔහු සිහි කරමින් කාසියක් නිකුත් කළා. 2010 පැරාලිම්පික් උළෙලේ ටෙරී පිලිබඳ චිත්‍රපටයක් ප්‍රදර්ශනය වූ අතර එය අවසානයේ ඔලිම්පික් ගිනිසිළුව ගෙනගියේ ඔහුගේ දෙමාපියනුයි.
ඔහුගේ දිරිමත් බව, අරමුණු කරා යාමේ අධිෂ්ඨනය, කියාදෙමින් ටෙරී ෆොක්ස් පදනමට මුදල් එකතු කරන වාර්ෂික ධාවන පාසල් මට්ටමෙන් සිදුවෙනවා. පාසල්වල විවිධ වැඩසටහන් සංවිධානය වන අතර ඔහුගේ වටිනාකම කියවෙන පෝස්ටර් ප්‍රදර්ශනය වෙනවා.
ලෝකයේ බොහෝ රටවල ඔහුගේ නමින් මැරතන් ධාවනය කර පිළිකා පර්යේෂණ සඳහා මුදල් එකතු කරනවා.
දැනට ටෙරී ෆොක්ස් අරමුදල ඩොලර් මිලියන 700ක් ඉක්මවමින් වැඩි, පිළිකා සටනට උරදෙමින් ඉන්නවා.
රටේ ජාතික වීරයන් අතරට ඔහුගේ නමද එක්වුණා. ඒ වෙනුවෙන් මේ වසරේත්  මුද්දරයක් නිකුත් වුණා.

ඔහු වීරයෙක්. සැබෑ වීරයෙක්. රෝගයකට, ආබාධිත බවට නවතන්නට නොහැකිවූ උතුම් අරමුණක් කරා දිව ගිය වීරයෙක්.
ටෙරිගේ බලාපොරොත්තුව ඔහුගේ මරණයෙන් අවසන් වුණේ නැහැ. අද දක්වාම මිනිසුන් ඔහු ගේ සිහිනය, ඔහු පැතූ හාස්කම වෙනුවෙන් ධාවනයේ යෙදෙනවා. ටෙරී ෆොක්ස් දායාද කළ බලාපොරොත්තුවේ ත්‍යාගය මගින් කෙදිනක හෝ පිළිකාවට ප්‍රතිකාර සොයාගනු ඇති. කෙදිනක හෝ වේදනාව අවසන් වනු ඇති.

උදව්:
Kinesiology: An Introduction to Exercise Science, Ted Temertzoglou
Terry Fox: A Story of Hope, Maxine Trottier
www.terryfox.org